ගෙදර දොර

“දවල්ට තෝසෙත් කාලා ආයෙ මොකොටද මේ හැටි උයන්නේ?”

මම අම්මගෙන් අහපු ප්රශ්නෙන් නංගිගෙයි මල්ලිගෙයි මෙතෙක් නොකඩ කතාව වහාම නැවතුනා. දෙන්නා මා දිහා බැලුවේ අළුත ගෙනා බලු කුක්කෙකුට පෙන්වන කරුනාවෙන්. අම්ම විතරයි හිනා මුහුණක් පෙන්නුවේ. ඉස්සරවෙලාම කතාකළේ නංගී.

“අ… රෑට කන්ට….?”

මල්ලී දුන්නේ වෙන විදිහේ උත්තරයක්.

“අයියට කන්ට බැරිවුනාට අපිට එහෙම අමාරුවක් නෑ… මං දැක්කා එදා දවල් කඩෙන් කෑවේ එක වඩේ එකයි! හැදිච්චි මිනිහෙක් කවදාවත් එක වඩේ එකකින් නවතින්නෙ නෑ. දැක්කනෙ ඊයෙ රෑට කාපු හැටි? මට හිතෙන්නේ පිට රට කෑම බීම නැතුව ඇති, අයියට කාලා බීලා පුරුද්දක්ම නැත්තේ!”

“මං හිටපු තැන මේ වගේ කෑම නැති බව ඇත්ත තමා. එහෙදී කෑම ටිකක් අඩු වුන එකත් ඇත්ත. හැබැයි ඉස්සර කාපු විදිහට දෙමළ මහා සෑය වගේ බත් පතක් කන එක මට දැන් අමාරුයි… මල්ලිට අමාරුවක් නැතිවුනාට!”

“අම්මයි අක්කයි කොච්චර මහංසි වෙලාද ඉව්වේ. එහෙම වෙලාවට නොකා ඉන්න එක පවක් - ඒකයි මම ඊයෙ රෑ කෑවේ. ඒකයි අදත් කන්නේ”

“මමයි අම්මයි මහංසිවෙලා උයනකොට මල්ලී උදව් කරනවා මට නම් මතක නෑ!”

“ඇයි මම තෝසේ ඉව්වේ?”

“දැන් කුස්සිය වෙම්බ්ලි එක ලඟද? මට මතකයි එතන තෝසේ කඩේ”

අම්මයි මමයි මුහුණෙන් මුහුණ බැලුවේ සතුටු සිනා එක්ක. කොල්ලයි කෙල්ලයි කතාවට දක්ශයි. අපි ඒ විවාදෙට බාධා නොකර අහගෙන හිටියා.

අනික් අතට මම හිතාගත්තා ආයෙ පිට රට වෙනස්කම් ගැන කතා නොකර ඉන්න. මම පිට රට ගිහින් කාලයක් හිටියා කියලා ඒ ගැන කතා කරන්න ඕන නෑ, කවුරුත් කෙලින්ම ප්රශ්නයක් ඇහුවෙ නැත්නම්. අපෙ පවුල කොයි තරම් කිට්ටු වුනත් සමහරවිට මගෙ කතා ඒ අයට හිරිහැරයක් වෙන්න පුළුවන්. ඒ කාලේ පිට රට කයිවාරු ගහපු අයට අපි කිව්වේ ‘ඇඳලා’ කියලා. මමත් ‘ඇඳලද’ කියලා මට පොඩි සැකයක් ඇතිවුනා - ඒ තත්වයෙන් ගැලවීම මගෙ පළමු හැඩගැසීම වෙන්න ඕන.

ගෙදර ඇවිත් තවම දවස් කීයද? බ්රිස්බන් නගරේ ඉඳන් ඇවිල්ලා සතියක් වත් නෑ. ඒ තරම් කෙටි කාලෙකින් අළුත් තැනකට හැඩගැසෙන්න පුළුවන්ද? හැබැයි මේක අළුත් තැනක් නෙවෙයි - ලංකාවේ කියවෙන කෙරෙන හැම දෙයක්ම වෙනස්වෙලා නෑ. ටෙලිවිශන් එහෙම තිබුනට ආර්ථිකය ගොඩක් වෙනස් කියලා දැනෙන්නෙ නෑ.

පවුලේ තොරතුරු නම් ටිකක් වෙනස්. ලොකුම වෙනස පෙන්නුවේ මල්ලියි. ඉස්සර වගේ නෙවෙයි දැන් මල්ලී වගකියයුතු වැඩිහිටියෙක්. කතාවයි විහිළුවයි හිනාවයි වෙනස් නොවී තිබුනට අනික් හැම අතින්ම කල්පනා සහිත මිනිහෙක්. මේ බව මට දැනුනේ ආපු දවසෙමයි. අනික් අතට නංගිත් එක්ක ඒ තරම් කාලයක් ගෙවන්න අවස්ථාවක් තවම ලැබුනෙ නෑ. ගුරු පත්වීමක් බලාපොරොත්තුවෙන් ඉන්න නංගිත් මල්ලී වගේම වැඩිහිටියෙක් වගේ හිතනවා ඇති.

මුළු ලංකාවම එහෙම ඇති. මම දන්නේ මීට අවුරුදු හතරකට ඉස්සර තිබුන රට. සමහරවිට මමයි මෝරලා නැත්තේ!

මගේ සිතුවිලි වල ගිලිලා හිටපු මම ආයෙත් උඩට ගෙනාවේ අම්මගෙ කට හඬ.

“මොකද ලොක්කා ලොකු කල්පනාව?”

………………………

“තිලකා හොඳටම අප්සෙට්ද?”

“ඒ වගේ…ඒක පුදුමයක් නෙවෙයි ලලිත් - තවම පොඩි කෙල්ල. පවුලක් රටක් නෑ…”

“මොකද කිව්වේ ඇඩිලේඩ් ඒම ගැන? මට එයා කිව්ව දේ ඇහුනෙ නෑ”

නීලයි මමයි මගෙ ෆ්ලැට් එකේ බැල්කනියේ ඉඳන් කෝපි බොනවා. තිලකා පීරිස් එක්ක වැඩියම කතාකළේ නීලා. ඒ කෝල් එකෙන් පස්සේ තිලකගෙන් අහගත්ත දේ බෙදා හදා ගන්න මගෙ ෆ්ලැට් එකට අපි ගියේ. රෑ කෑමට සැන්ඩ්විච් හදන්න අවශ්ය සියල්ල එතන තියෙන බව දැනගෙනයි. කෑමයි බීමයි අරගෙන ගිහින් බැල්කනියේ වාඩිවෙනතුරු මම ප්රශ්න ඇහුවෙ නෑ.

නීලා කියපු හැටියට තිලකා පීරිස් කොළඹ සල්ලිකාර වෙලඳ පවුලක. බම්බලපිටියේ ජීවත් වුනත් මීරිගම පැත්තේ පොල් ඉඩම් අයිති මිනිස්සු. ඔවුන් දරුවෝ දෙන්නගෙ ඉගෙනීමේ කටයුතු පාළනය කළේ වැඩිමහල් පුතා එංගලන්තෙටත් තිලකා ඔස්ට්රේලියාවටත් පිටත් කිරීමෙන්. තිලකගෙ අයියා කෘෂිකර්මාන්ත පුහුනුවීමකින් ආපසු ලංකාවට ආපසු ආ අවුරුද්දෙම තිලකා අඩිලේඩ් නගරයට ඇවිත් තියෙන්නේ - මීට තුන් වසරකට පෙර. ඒ තීරණය ගත්තේ ලංකවේ සරසවි ඇතුල්වීමේ ඇති අමාරුව තේරුම්ගෙනයි. පාසැල් දිග නිවාඩු වලට ලංකාවට යන්නත් කෙටි නිවාඩු වල පාසැල් මිතුරන්ගෙ ගෙවල් වලට යෑමටත් දෙමාපියෝ අනුබල දුන්නා. කිට්ටුවෙන් ආශ්රය කිරීමට ලාංකිකයෝ නැතිවීම ගැන තිලකාවත් ඇගේ දෙමව්පියෝවත් ලතවුනේ නෑ. මුදලින් අඩුපාඩු නැති තිලකට ඕන තරම් ඔස්ට්රේලියානු මිත්රයෝ හිටියා.

“තිලකා ලංකාව අන්තර්ධාන වීම ගැන දැනගෙන තියෙන්නේ අපි වගේ නෙවෙයි. ලියකියවිලි නැතිවීම නේ අපේ කරදර ආරම්භය - නමුත් තිලකට වෙලා තියෙන්නේ යාළුවෝ නැතිවීම”

“යාළුවෝ නැතිවීම? ඒ කොහොමද?”

“ඉස්කෝලේ යන කාලේ පටන් හිටපු මිත්රයෝ හදිස්සියේම තිලකා හඳුනන්නෙ නෑ! හරියටම ගිය සෙනසුරාදා උදේ ඉඳන්!”

ඒ ගැන මට ටිකක් කල්පනා කරන්න සිද්ධවුනා. එක පංතියේ හිටපු අය යාළුවෝ නොවෙන්නේ කොහොමද?... නෑ…. ඇත්තම බැලුවොත් කවුරුත් තිලකගෙ පංතියේ හිටියෙ නෑ! කොහොමද ලංකාව කියලා රටක් නැතිකොට එහෙන් ආපු ළමයි ඉන්නේ?

හැබැයි එහෙමනම් කොහෙන්ද තිලකා ඇඩිලේඩ් යුනිවසිටියට ආවේ? ඒ ඉස්කෝලෙන් ආවෙ නැත්නම්…

“නීලා… තිලකගෙන් ඇහුවද එයාගෙත් පාස්පෝට් එහෙම නැතිවුනාද කියලා?”

“ඔවු … හැබැයි හරියටම දැනගත්තේ සඳුදා … සෙනසුරාදයි ඉරිදයි යාළුවෝ මගාරිනකොට ලියකියවිලි චෙක් කරන්න හිතිලා නෑ. ඒ වෙනුවට තරහ ගියාලු! එයා උදව් කරලා තියෙන හොඳ ඉස්කෝලේ යාළුවෝ හදිස්සියෙම අමුත්තෝ වෙලා! කතා කරන්න යනකොට තිලකගෙ නම මොකද්ද කියලා ඇහුවලු… කොහෙන්ද ආවේ, මොන ඉස්කෝලෙටද ගියේ එහෙම අහලා!”

“නීලා අපෙත් ලියකියවිලි නැතිවුනා… රයිට්? නමුත් මගෙ යාළු මයිකල් මාව හඳුනනවා. තිලකව කවුරුත්ම හඳුනන්නෙ නැද්ද?”

“යුනිවසිටි හඳුනගත්ත අයගෙන් ප්රශ්නයක් නෑ කිව්වා… ලලිතුයි මයිකලුයි වගේ වෙන්න ඇති. ආපු රට ගැන නොදත් අය තාම මිත්රයෝ. මම හිතන්නේ ඉස්කෝලේ වැඩිය පිටරැටියෝ ඉන්න නැතුව ඇති, යුනිවසිටි එකේ වගේ. ඉස්කෝලේ සේරම දන්නවා තිලකා ලාංකික කියලා. ඒක දන්න ඕනම කෙනෙක් තිලකා හඳුනන්නෙ නෑ. නමුත් ලාංකික බව නොදත් අයට වෙනසක් පෙනෙන්නෙ නෑ”

“එතකොට මයිකල්? මිනිහා දන්නවා අපි ලංකාවේ කියලා”

“…. සමහරවිට… සමහරවිට එයාගෙත් රට අන්තර්ධාන වුන නිසා…?

………………………………

“මං හිතුවේ අම්මා… මගෙ හිටපු යාළුවෝ දැන් මොනවා කරනවා ඇද්ද කියලා”

මල්ලී ඒකට උත්තරේ දන්නවා.

“දැන් රෑ නේද? නිදි ඇති”

“තවම දහයයි - නිදා ගන්න වෙලාවක් නෙවෙයි. හැබැයි සතියේ දවසක් නිසා දොලහ වෙනකොට ඇඳේ. සිකුරාදයි සෙනසුරාදයි වෙනම කතාවක්!”

“ඉතින් එච්චර වෙලා මොකද කරන්නේ? හැමදාම පාටි දාන්ට බෑනේ”

නංගී ප්රශ්නයක් අහන්නේ යමක් දැනගන්න.

“සමහරු පාඩම් කරනවා. මං මේ කියන්නේ යුනිවසිටි අය ගැන; රටේ සේරම මිනිස්සු ගැන නෙවෙයි. පාඩම් නොකරන අය ටීවී බලනවා, පොත් කියවනවා, කාඩ් ගහනවා, සිංදු අහනවා, වෝක් යනවා… කරන දේ එක එක්කෙනාගෙ කැමැත්තේ හැටියට”

අම්මත් ප්රශ්නයක් ඇහුවා.

“රෑ වෝක් යනවා?”

“ඔවු අම්මා… හුඟක් හරියට රෑට පාරේ ලයිට් තියෙනවා… අනික බයවෙන්න දෙයක් නෑ… වැඩිය”

“… ඒ හොල්මන් එහෙම නැති හින්දද?”

“ඔවු ඉතින් මල්ලී එහෙ නෑ නේ”

අම්මා කතාව වෙන පැත්තකට හැරෙව්වා.

“එහෙදී ලොක්කා ලංකාව ගැන තොරතුරු දැනගත්තේ කොහොමද?”

“ටීවී එකේ හරි රේඩියෝ එකෙන් ඇහුනොත් තමා… “

“ගිය අවුරුද්දේ නොබැඳි සමුලුව දවස්වල සෑහෙන්ට පෙන්නන්ට ඇති”

“නෑ අම්මා… අපිට ලොකු වුනාට උන් ඒක ගැන වැඩිය මොකවත් පෙන්නුවෙ නෑ… ප්රවුර්ති වලට පෝඩ්ඩක් පෙන්නුවා විතරයි!”

අම්මට ටිකක් හිතට අමාරුයි වගේ ඒකට; සිරිමාවෝ බන්ඩාරනායකගෙ ලොකු සපෝටර් කෙනෙක් හැටියට. මමත් ටිකක් හිතේ අමාරුවෙන් හිටියේ ඒ දවස්වල, ටීවී එකේ ලංකාව දැකගන්න තිබුන අවස්ථාවක් අපතේ යෑම ගැන. නමුත් ඒ අය පෙන්වන්නේ ඒ අයගෙ ප්රේක්ෂක බහුතරයේ අවශ්යතාව ගැන හිතලා බලලා. නමුත් අම්මගෙ හිත ටිකක් හරි හදාගන්න මම ඊ උත්සාහ කළා.

“අපි අනික් ලංකාවේ ළමයි එක්ක ඒ ගැන කතාවුනා…”

වැඩිය ලංකාවේ අය බ්රිස්බන් නොසිටි බවත් ඔවුන් කිට්ටුවෙන් ආශ්රය නොකළ බවත් මම යටපත් කළා.

“හැබෑට එහෙ හුඟක් ලංකාවේ අය හිටියද?”

“වැඩියම නෑ අම්මා… සනත් කියලා කොල්ලෙකුයි නීලා කියලා කෙල්ලෙකුයි තමා හොඳින්ම දන්නේ. ඒත් අපි ඉගෙනගත්තේ වෙන වෙන දේ නිසා නිතරම මුනගැහුනෙ නෑ”

“ඉතින් අයියා පාළු නැද්ද සිංහල වචනයක්වත් ඇහෙන්නෙ නැතිකොට?”

“ඇයි කෙල්ලේ මම මෙහෙන් සිංදු එහෙම අරගෙන ගියේ. ගිය දවස්වලම මම ලාබ කැසට් ප්ලේයර් එකක් ගත්තා. හෙඩ්ෆෝන් ගහගෙන මම අමරදේවගෙ සිංදු ඇහුවා නිතරම වගේ”

“අයියා කැසට් තුනයි නේද අරගෙන ගියේ?”

“ඇයි චූටියානේ ඒවා මට ලෑස්ති කරලා දුන්නේ! යාළුවෙක් දීපු කන්ඩායම් ගීත කැසට් එකකුත් තිබුනා”

අම්මට නම් සිංදු අහන එක මදි ලාංකික වෙන්න.

“එහෙ ඉතින් පංසල් එහෙම නැතුව ඇති නේද? කෑම ජාති එහෙම?”

“පංසල් නෑ…චීන බෞද්ධ විහාර තිබුනට මම ගියෙ නෑ… කෑම ජාති සොයාගන්න අමාරු බව ඇත්ත. හාල් තියෙනවා. පරිප්පු එහෙම තියෙනවා ඉන්දියන්, අරාබි එහෙම කඩ වල. එළවලු, පලතුරු, මස්මාළු - ඕන තරම්. පොල් නෑ - පොල් කිරි වෙනුවට එළකිරි තමා දාන්න වෙන්නේ… මේ කිසි දෙයක් මට ප්රශ්න නෙවෙයි; නැවතිලා හිටපු නේවාසිකාගාරයේ දීපු දෙයක් කන්න වෙන නිසා!”

“එතකොට බත් එහෙම කන්නෙම නැද්ද?”

“ඉඳලා හිටලා රෑ කෑමට දෙනවා ‘කරි ඇන්ඩ් රයිස්’ කියලා එකක්. පිඟානේ මැද බළු වමනේ වගේ ‘කරියක්’ දාලා කොනකින් බත් ටිකක් තියලා… මං මේ වැරැද්දක් කියනවා නෙවෙයි හැබයි වෙලාවකට ආසා හිතුනා බත් පතක් බෙදාගෙන, පොලොස් ඇඹුල් ටිකකුයි, පොල් සම්බලේකුයි, වට්ටක්කා දළු මැල්ලුමකුයි බෙදාගෙන කන්න… ඒක කාට කියන්නද ඉතින්!”

අම්මයි නංගියි ඇත්තටම කනගාටුවෙන් වගේ මා දිහා බලාගෙන හිටියේ. මල්ලිට එහෙම කනගාටුවක් නෑ.

“ඒක නේ මම පිටරට ගියෙ නැත්තේ! බත් නැති රට රටක් නෙවෙයි!”

“ඔවු ඉතින් කෑමටම ජීවත් වෙනවානම්”

හෙදියක් හැටියට අම්මත් කැමති නෑ කෑමට මුල්තැන දෙනවට - කෑම මේසෙදි වුනත්. ඒ නිසා වෙන්න ඇති කතාව වෙන පැත්තකට හැරෙව්වේ.

“කෑම අමතක කරලා දාමුද පොඩ්ඩකට? චුට්ටී හෙට නේද කටුබැද්දේ යන්නේ?”

එතනින් මාතෘකාව ඊලඟ දවස් කිහිපය පැත්තට යොමුවුනා.

“ලොක්කා එහෙ යාළුවෝ එහෙම හුඟක් හිටියද? මං දන්නවා මෙහෙ හරියට යාළුවෝ හිටියා කියලා”

ඒකට එක සැරේම උත්තරයක් දෙන්න අමාරුයි. පීටර්ලා, ජෝන්ලා එහෙම මෙහෙ යාළුවන්ට වඩා වෙනස්. එහෙයි මෙහෙයි ‘යාළුකම’ කියන වචනෙන් වැටහෙන අදහසුත් වෙනස් කියලා මට හිතෙන්නේ.

………………………….

“පීටර්ගෙ යාළුවා ලලිත් ආපහු ගියාද?”

පීටර්ගෙ මිත්ර සූසන් පීටර්ගෙන් ඇහුවේ රෑ ටෙලිවිශන් බලන වෙලාවේ.

“හ්ම්… ඔවු. දවස් දෙකයි සිංගප්පූරුවේ නවතිනවා කිව්වේ. දැන් ගිහින් ඇති”

“ආයෙ නොඑන්නමද ගියේ?”

“මං හිතන්නේ එහෙමයි. මිනිහගෙ අම්මලා ඉන්නේ ලංකාවේ අග නුවර කොළඹ නෙවෙයි. සමහරවිට ඈත පලාතක වෙන්න ඇති. ඒ කිට්ටුව රස්සාවක් සොයාගන්න පුළුවන් වෙයි කියලා කිව්වේ”

“අග නුවරින් ඈත පලාත්වල රස්සා තියෙයිද?”

“ඒක ලලිත්ම තමා දන්නේ… නොකිව්වට මොකද මිනිහා ආපහු යන්න හරිම ආසාවෙන් හිටියේ…”

“… ඇයි ඔස්ට්රේලියාවට අකමැති? මං හිතුවේ ඒ වගේ රටකින් එන අය මෙහෙ නවතින්නමයි බලන්නේ කියලා… කොහොම හරි…”

“මං හිතන්නේ ලලිත්ට එහෙම අදහසක් තිබුනෙ නෑ”

සූසන් පීටර් දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.

“ඔයාගෙ හොඳ යාළුවෙක් නේද, ෆෙයාවෙල් පාටියක් එහෙම දුන්නේ? හැබැයි ආයෙ හම්බවෙන්නෙ නැතිවෙයි, අවුරුදු හතරක් යාළු වෙලා හිටියට…”

“හ්ම්… කියන්න බෑ ඉතින්… මිනිහා මට එහෙ එන්න කියලා කිව්වා, යුරෝපෙට යන වෙලාවකවත් හරි…”

“ඉතින් ඔයා යැවෙයිද?”

“කියන්න බෑ… එනවද මාත් එක්ක ශ්රී ලංකා යන්න?”

…………………………..

“මගෙ හොඳම යාළුවා පීටර්- පීටර් ග්රීන්. මං ගිය දවස් වලම හම්බවුනේ. මං ආපහු එනකොට පාටියක් දුන්නෙත් මිනිහා තමා”

“එයා ඔස්ට්රේලියාවේ කෙනෙක්ද? සුද්දෙක්?”

“ඔවු. මං කරපු කෝස් එකමයි කරේ”

මට මතක්වුනා එහෙයි මෙහෙයි සංසන්දනය කරන කතා වලට සම්බන්ධ නොවෙන්න ගත්ත තීරණය.

“එහෙ කතා අමතක කරලා මෙහෙ ගැන යමක් කියනවද? චුට්ටී කොහොමද කටුබැද්දේ කෝස් එක තෝරා ගත්තේ?”

“අයියා දන්නවානේ මගෙ ආසාව තිබුනේ මිකෑනිකල් වැඩ වලට කියලා. මං හිතුවේ එන් ඩී ටී කරොත් රස්සාවක් හොයාගන්න එක අමාරු නැතිවෙයි කියලා. අම්මත් කැමතිවුනා, වියදමක් ගියාට මොකද කියලා… ආයෙ පොඩ්ඩයි කෝස් එක ඉවර කරලා දාන්ට - ෆේල් වෙන්නෙ නෑ, දැන් යන විදිහට!”

අම්මා කතාවට හවුල්වුනේ මම යමක් කියන්න ඉස්සර.

“මොන වියදමක්ද? චුට්ටී කැමතිත් ඒකට; චුට්ටිට හරියන්නෙත් ඒක. දැන් ඔය තනියම වැඩේ කරගෙන යන්නේ! අපිට චුට්ටිගෙන් කිසි කරදරයක් තිබුනෙ නෑ, නේද දුව?”

“නෑ… මල්ලී මං හිතුවට රෙස්පොන්සිබල්”

“එයි මම රෙස්පොන්සිබල් නැද්ද කටුබැද්දේ යන්ට ඉස්සර?... හ්ම්ම්… නෑ… ඒකට උත්තර නොදුන්නොත් මට වාසියි වගේ!”

මට හිනා ගියා.

“මට මතක පිස්සු නටපු පෙන්දා නෙවෙයි චුට්ටී දැන්!”

“අපි සේරම වයසට යනවා ලොක්කා… මට දැන් පනස් තුනයි… හොඳටම නාකියි!”

කතාව ටිකක් බරපතල පැත්තට හැරෙන බවක් මට දැනුනා. නමුත් තවම අම්මගෙ විශ්රාම කතා කරන්න බෑ, මම රස්සාවක් සොයාගෙන ටිකක් එක විදිහක් වෙනතුරු. නමුත් කිසි දෙයක් නොකියා ඉන්නත් බෑ.

“මට යාළුවෙක් කිව්වා ‘නාකි’ කියන වචනේ ඇවිත් තියෙන්නේ ‘නොහැකි’ කියන එකෙන් කියලා. අම්මට කිසි දෙයක් නොහැකි කියලා මට හිතන්න අමාරුයි… අම්මා දන්නවද මම දන්න ගෑනු දෙන්නෙක්, හැටට කිට්ටු දෙන්නෙක් අළුතෙන් කසාදත් බැන්දා කියලා!”

අම්මා හිනාවුනේ ලජ්ජාවෙන් වගේ.

“අනේ උඹෙ රට ගෑනු කරන විදිහට මට බෑ… මගෙ පොඩි එවුන් තුන්දෙනා යමක් කර ගන්න එක මට ඇති”

මගෙ හිතේ තිබුන එක අදහසක් එළියට දමන්න ඒ හොඳ අවස්ථාවක්.

“අපි තුන්දෙනාගෙන් චුට්ටී දැනටම රස්සාවක් කරනවා. නංගිටත් ජනවාරියේ පත්වීමක් ලැබෙයි. මං හිතුවේ එන සතියේ මම කතා කරලා තියෙන ආයතන වලට ගිහින් බලන්න මටත් රස්සාවක් ගැන… අම්මා ඇරුනුකොට අපිට රස්සා ලැබෙන්නේ වයසේ පිළිවෙලට හැබැයි වැරදි පැත්තෙන් පටන්ගෙන!’

“මොකද්ද ඉතින් හදිස්සිය?”

“නෑ අම්මා… මං හිතුවේ එන සතියේ කතා කරත් රස්සාවක් ලැබෙන්න මාසයක් විතර යයි කියලා. ඉක්මනට පටන් ගන්න තරමට හොඳයි”

“කොහෙද අයියා ඔය කොම්පැනි?”

“කුන්ඩසාලේ එක තමා වැඩියම හිතට ඇල්ලුවේ - ඒක ආන්ඩුවේ. ආයෙ මහවැලි කොන්තරක් කොම්පැනි දෙකකුයි පේරාදෙනියේ යුනිවසිටි එකයි එක්කත් කතා කරලා තියෙන්නේ”

“අයියා කොළඹ වැඩට එන්ට බලාපොරොත්තුවක් නෑ?”

“නෑ චුට්ටී… ටිකක් කල් නුවර වැඩ කරන්න ඉබුනොත් හොඳයි කියලා මට හිතුනේ”

“අපරාදේ… කොළඹ ආවනම් මටත් ගජේ ගහන්න තිබුනා අයියගෙ ගෙදර!”

මට හිනා ගියා.

“ඒ කෙසේ වෙතත් රෑ වෙන්න ඉස්සර ගිහින් ඇලෙන් නාලා එමුද?”